ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකා වාර්තාවයි: තරග වාර්තා 2යි - තුම්පිම්මේ ශූරයා - 1500 ශූරිය නවකයන්ට පරදිති

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකා වාර්තාවයි: තරග වාර්තා 2යි - තුම්පිම්මේ ශූරයා - 1500 ශූරිය නවකයන්ට පරදිති

2021.01.05

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය නව ශ්‍රී ලංකා වාර්තාවක් හා තරග වාර්තා දෙකක් සමග ඊයේ නිමාවට පත්වෙයි. දින 4ක් පුරා පැවැති මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් ඒ ඒ ඉසව්වල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකවන් අතර පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සචිනි කෞශල්‍යා පෙරේරා රිටි පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාව මීටර් 3.56ක දක්ෂතාවකින් බිහිකළ අතර කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාරංගී ද සිල්වා මීටර් 6.33කින් හා මීටර් 800 කාන්තා ඉසව්වෙන් යුද හමුදාවේ ඩිල්ෂි කුමාරසිංහ මිනිත්තු 2: 02.80කින් නව තරග වාර්තා බිහිකළහ.

ඊයේ පැවැති තුම්පිම්ම පිරිමි ඉසව්වේ ජාතික ශූරයා වූ යුද හමුදාවේ ශ්‍රේෂාන් ධනංජය පරාජයට පත්කරමින් යුද හමුදාවේම සංජය ජයසිංහ එම ඉසව්වේ ප්‍රථම ස්ථානයට පත්වීම කැපී පෙණුනි. සංජය ජයසිංහ මීටර් 16. 32ක දක්ෂතාවක් පෙන්වූ අතර ශ්‍රේෂාන් ධනංජය මීටර් 16. 12කින් දෙවැනි තැනට පත්විය. ඔහු මෙම ඉසව්වේ ජාතික වාර්තාව පසුගිය වසරේදී පිහිටුවා තිබූ අතර, එම දක්ෂතාව මීටර් 16. 71කි. තුම්පිම්ම පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානයට යුද හමුදාවේ ජී. වී. සඳරුවන් මීටර් 15.84කින් පත්විය.

මේ අතර මීටර් 1500 කාන්තා ඉසව්වේ ජාතික ශූරිය වූ ගුවන් හමුදාවේ නිමාලී ලියනාරච්චි එම ඉසව්වේ තෙවැනි ස්ථානයට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය. එහි පළමු ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්න මිනිත්තු 4: 17. 58කින් දිනාගත් අතර, යුද හමුදාවේ නිලානී රත්නායක මිනිත්තු 4:21.28කින් දෙවැනි ස්ථානයට පත්විය. නිමාලී ලියනාරච්චි මිනිත්තු 4:28.13කින් තරගය නිමාකළ අතර, ඇයගේ ජාතික වාර්තාව මිනිත්තු 4:15.86ක් ලෙස පසුගිය වසරේදී වාර්තා කොට තිබිණි.

මීටර් 10000 කාන්තා - 1. එච්. එම්. එන්. නන්දසේන මිනිත්තු 35:21.11 (යුද හමුදාව) 2. කේ. එම්. මලින්දා මිනිත්තු 36:23.94 (ගුවන් හමුදාව) 3. ඒ. එන්. එල්. ආරියදාස මිනිත්තු 36:32.75 (යුද හමුදාව)

මිටිය විසිකිරීම කාන්තා - 1. ඒ. ඒ. ලක්ෂිකා මීටර් 43.02 (ගුවන් හමුදාව) 2. එස්. එම්. අමරසිංහ මීටර් 42.25 (යුද හමුදාව) 3. වෙරන්ගා තිසරණී මීටර් 37.42 (විශ්ව විද්‍යාල)

 
 

මීටර් 1500 පිරිමි - 1. සමන් කුමාර මිනිත්තු 3:47.86 (යුද හමුදාව) 2. හේමන්ත කුමාර මිනිත්තු 3:49.02 (පොලීසිය) 3. දර්ශන ලංකා මිනිත්තු 3:50.84 (යුද හමුදාව)

මිටිය විසිකිරීම පිරිමි - 1. සිසිර කුමාර මීටර් 50.73 (යුද හමුදාව) 2. සංජය බණ්ඩාර මීටර් 49. 59 (යුද හමුදාව) 3. ඩී. එම්. ධර්මසේන මීටර් 44.51 (යුද හමුදාව)

මීටර් 400 කාන්තා - 1. නදීෂා රාමනායක තත්පර 53.47 (යුද හමුදාව) 2. දිල්ෂි කුමාරසිංහ තත්පර 53.81 (යුද හමුදාව) 3. රොමේෂි ඉෂාරා තත්පර 57.45 (පාසල්)

මීටර් 400 පිරිමි - 1. කාලිංග කුමාරගේ තත්පර 46.25 (යුද හමුදාව) 2. ආර්. එන්. රාජකරුණා තත්පර 47.02 (යුද හමුදාව) 3. අරුණ දර්ශන තත්පර 47.04 (යුද හමුදාව)

දසප්‍රයාම - 1. අජිත් කුමාර කරුණාතිලක ලකුණු 7059 (යුද හමුදාව) 2. රන්දික ගුණසිංහ ලකුණු 6316 (යුද හමුදාව) 3. එම්. අයි. එම්. අශාන් ලකුණු 6096 (යුද හමුදාව)

ප්‍රින්ස් ගුණසේකර